Thursday, July 18, 2019

හිමාලයේ ඇතැයි කියන මොකක්ද මේ ඡද්දන්තය


හිමාලය පර්වතයෙහි පිහිටි දිගින්ද පළලින්ද ගැඹුරින්ද පනස් යොදුන් ඇති අනවතප්තය, කර්ණමුණ්ඩිය, රථකාර්ය, ඡද්දන්තය, කුණාලය, මන්දාකිණිය, සිංහ ප්‍රතාපය යන විල් සතින් සිවුවැන්න නම් 'ඡද්දන්ත' යැයි කියැවේ.

මේ විල් මැද ‍ෙදාළොස් යොදුන් පමණ ජලය ඉඳුනිල් මිණි රැසක් බඳුය. එහි සෙවෙල් ආදී යමක් නැත. ඒ ජලය සිසාරා යොදුන් යොදුන් පමණ පුළුල ඇති හෙල්මැලි වනය, නිල්මහනෙල් වනය, රත්මහනෙල් වනය, සුදු මහනෙල් වනය, රත් පියුම් වනය, සුදු පියුම් වනය, ඇඹුල වනය යැයි සත් වනයක් පිළිවෙළින් පිහිටියේය. මේ සත් වනය සිසාරා තවත් යොදුන් යොදුන් පමණ පුළුල් දස වනයකි. එයට ඉක්බිතිව එකිනෙක සිසාරා පිහිටි තවත් වන රැසක් වෙයි. ඉන් අවසන්ව පිහිටි හුණ වනය සිසාරා පර්වත සතක් ඇත.

ඒ පර්වතයන්ගේ පිට දිශාවෙහි පටන් පළමු පර්වතය චුල්ලකාලී නම්ය. යොදුනක් උස ඇත. දෙවැනි පර්වතය මහාකාල නම්ය. දෙයොදුනක් උසය. තෙවැනි පර්වතය උදක් පාර්ශ්ව නම්ය. තුන්යොදුන් උසය. සිවු වැනි පර්වතය චන්ද්‍රපාර්ශ්ව නම්ය. සතර යොදුන් උසය. පස්වැනි පර්වතය සූර්ය පාර්ශ්ව නම්ය. පස් යොදුන් උස ඇත. සවැනි පර්වතය මණි පාර්ශ්ව නම්ය. සයොදුන් උසය.

සත් වැනි වූ සත්යොදුන් උස ඇති ස්වර්ණ පාර්ශ්ව නම් පර්වතය ඡද්දන්ත විල සිසාරා පාත්‍ර මුවවිටක් මෙන් සිටියේය. එහි ඇතුළත ස්වර්ණවර්ණ යැයි කියැවේ. එයින් නික්මෙන රන්වන් පැහැයෙන් ඡද්දන්ත විල ළහිරු මඬලක් මෙන් බබළන්නේ යැයිද ප්‍රකාශ වේ.

ඡද්දන්ත විලෙහි ඊසාන කොනෙහි අට දහසක් අරළුයෙන් හොබවන ඉඳුනිල් පර්වතයක් බඳු මහ නුග ගසක් ඇත. ඡද්දන්ත නම් ඇත් රජ තෙමේ ග්‍රීෂ්ම සමයෙහි අටදහසක් ඇතුන් පිරිවරාගෙන එහි මුල අරළු අතුයෙහි සිටින්නේය. විලට බටහිර වූ රන් පර්වතයෙහි ‍ෙදාළොස් යොදුන් පමණ වූ කාංචන ගුහා නම් ලෙනකි. ඡද්දන්ත ඇත් රජු වැසි කල එහි ගත කරන බවත් කියැවේ. කෙතරම් සොඳුරු වර්ණනයක්ද? 

Tuesday, July 16, 2019

ඇසළ පුර පසළොස්වක පෝය


බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත. අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර, අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.

මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

Monday, July 15, 2019

දිනෙන් දින වර්ධනය වන අපූරු දූපත


ජීවීන් හා ශාක පමණක් වර්ධනය වන බවට මතයක් පැවතිය ද මේ වන විට ජපානයේ පිහිටි දුපතක් ද කාලානුරූපීව වර්ධනය වන බවට හෙළිදරව් වී ඇත. මේ එම විස්මිත දුපතේ අපූරු තොරතුරු පෙළගැස්මයි.

නමින් නිෂි- නෝ-ෂිමා හෙවත් වෙස්ටර්න් දුපත නිර්මාණය වී ඇත්තේ භූ ගත යමහල් ක‍්‍රියාවලිය හේතුවෙනි. මෙම අපූරු දුපත ටොකියෝවට නුදුරින් නිර්මාණය වී ඇත. ජපන් වැසියන් මෙම දුපතට රොසයිරෝ දිවයින ලෙස ද ව්‍යවහාර කරයි.

1974 දී ඉතා කුඩා යමහල් කල්දේරාවක් ලෙස නිර්මානය වූ මෙය විශාල වීමට ආරම්භ වූයේ ඉතා කුඩා කල වකවානුවක් පමණී. ඒ මඳිනි මඳ යමහල් කල්දේරාව භූ ගත ලාවා මඟින් සක‍්‍රීවය වීම හේතුවෙනි. 2013  නොවැම්බරයේ දී හටගත් විදාරණය වීම හේතුවෙන් මෙම දුපත දැන් පවතින තත්වයට පත් වීමත් සමඟ ලෝකයේ ම අවධානය මෙම දුපත වෙත යොමු විය. 

2016 වන විට මෙම දුපත කොතරම් වර්ධනය වී තිබුණි ද යතොත් අක්කර 667.18ක් විශාල වී ඇති අතර මෙහි දැන් විවිධ ශාක හා සතුන් ද ජීවත් වීම ආරම්භ වී ඇත. මෙම දුපත කුඩා යමහලක් මෙන් ආරම්භ වී ඇත්තේ වසර 10 000කට එපිටින බැව් භු පර්යේෂකයන් ගේ මතයයි. 

Sunday, July 14, 2019

කොරල් 90%ක් මිය ගිහින්


ශ්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ඇති කොරල් සියයට අනූවක පමණ ප්‍රමාණයක් මේ වන විට මියගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සිළුමිණට පැවසීය.

පරිසර වෙනස්වීම්, අසම්මත සහ විනාශකාරී මසුන් මැරීමේ ක්‍රම සහ පොලිතීන් මුහුදට එකතු වීම නිසා මෙම තත්ව උද්ගත වී ඇති බව තමන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයිද ආචාර්යවරයා පෙන්වා දෙයි.

මුහුදු කලාප ආශ්‍රිතව පරිසරය රැකීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම මීට වඩා වේගවත් කර සැම දෙ‍නකුගේම සහය නොලැබුණහොත් ඉදිරි වසර දහය ඇතුළතදී කොරල්පර සම්පූර්ණයෙන් ම විනාශවී යනු ඇතැයිද ට්ර්නි මහතා පෙන්වා දෙයි.

ලෝකයේ බොහෝ මුහුදු කලාපවල දැක ගත නොහැකි අලංකාර කොරල් සහ ජීවීන් රැසක් ලංකාව වටා මුහුදු කලාපයේ තවමත් දැක ගත හැකි බවත් මෙය රැක ගැනීමට රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන සාමාන්‍ය ජනතාව එක්ව අත්වැල් බැඳගෙන තම ආයතනයට සහය ලබා දෙන ලෙස ආචාර්යවරයා ඉල්ලීමක් ද කරයි. 

Saturday, July 6, 2019

ජාතික රෝහලත් අන්දවා ප්‍රතිකාර ගත්‍තු සහරාන්ගේ සහෝදරයා


මූලික ප්‍රතිකාර කළේ තාත්තා
මුලින්ම එන්නෙ කොටාපාරේ පුද්ගලික රෝහලකට
එතැනින් කොළඹ ජාතික රෝහලට

සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ බෝම්බ විශේෂයින් දෙදෙනක් සිටියහ. ඒ එක් අයෙක් වන්නේ කටානේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අච්චි මොහොමදු හස්තූන්ය. අනෙකා වන්නේ සහරාන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් හසීම්ය. කල්මුණේ සයින්දු මරුදු නිවසේ සිදුවන පිපිරුමෙන් මිය ගිය අය අතර රිල්වාන්ද සිටියේය.

අයි.එස් ත්‍රස්තයින්ගේ රසායනික සංයෝජනයකට අනුව බොම්බ අටවන්නට රිල්වාන් පුහුණු වන්නේ කාතන්කුඩියේ ඔල්ලිකුලමේ පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථාන භුමියේදීය. ගොවිපොලක් ලෙස පවත්වාගෙන යන ඒ භුමිය අක්කර 15 ක වපසරියකින් සමන්විතය. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 05 කට පෙර කාතන්කුඩියේදී පුපුරා යන යතුරුපැදි බෝම්බය පවා සකස්කර ඇතැයි සැක කෙරෙන්නේ එම ගොවිපොල භුමියේදීය. එම යතුරුපැදි බෝම්බයේ නිෂ්පාදකයා රිල්වාන්ය.

රිල්වාන්ගේ එක් ඇසක් අහිමිය. අතක ඇත්තේ එක් ඇඟිල්ලක් පමණි. අතේ ඇගිලිත් ඇසත් ඔහුට අහිමි වන්නේ ගොවිපොල භුමියේදී නිෂ්පාදනය කළ බොම්බයක් පරීක්ෂා කිරීමට ගොස් එය වැරදීමකින් පුපුරා යාමෙනි. එම පිපිරුම සිදුවන්නේ 2018 වසරේ ඔක්තෝම්බර් 26 වෙනිදාය. බොම්බය අටවන්නේ කාතන්කුඩියේ නූර් දේවස්ථානය ආසන්නයේ බෝක්කුවක් යටය. එය කාල බෝම්බයකි. බෝම්බය පුපුරා යන්නේ බෝක්කුව යට එය අටවා රිල්වාන් එහි ටයිමරය ක්‍රියාත්මක කරන්නට යාමේදී සිදුවන අත්වැරැද්දකිනි. රිල්වාන්ගේ අතක ඇඟිලි මෙන්ම ඇසක්ද අහිමි වෙමින් මුහුෙණ් එක් පැත්තකට දරුණු ලෙස එම පිපිරුමෙන් හානි වී තිබුණේය. එදා එතැන ජාතික තවුහිත් ජමාත් හි සන්නද්ධ අංශයේ ප්‍රධානියා වූ මොහොමඩ් මිල්හාන්, මඩකලපුව ලියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් ඇතුළු ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අය සිතන්නේ පිපිරුමෙන් රිල්වාන් මිය ගිය බවය. ඒ අය රිල්වානේගේ පියාගේ නිවසට රිල්වාගේ සිරුර ඔසවාගෙන යන්නේ හොර රහසේ අවසන් කටයුතු කරන්නට සිතාගෙනය. රිල්වාන් මරණින් නැගිටින්නේ පියාගේ නිවසේදීය. ඒ පිපුරුමෙන් හානි වී තිබුණු මුහුණ ජලය පෙඟවූ රෙදි කඩකින් පිස දමන විටදීය.

රිල්වන්ට සිහි එළඹීමත් සමඟ ඔහුට මූලික ප්‍රතිකාර ලැබෙන්නේ සිය පියාගෙනි. අයිස් කැබලි රෙදි කඩක ඔතා මුහුණටත් අතටත් තැබූ ඔහු වෑන් රථයක් ගෙන්වාගෙන රිල්වාන්ව රැගෙන යන්නේ කොළඹටය. එය පැය හය හතක ගමනකි. රිල්වාන් සියලු වේදනාවන් ඉවසාගෙන සිටියේය. ඒ එන අතර තුර සහරාන් සිය සහෝදරයාට ප්‍රතිකාර ලබාදීමට තැනක් සූදානම්කර තිබුණේය. ඒ කොළඹ කොටාපාරේ පිහිටි පුද්ගලික රෝහලකි. රිල්වාන්ව එහි ගෙන එන විට සහරාන්ද රෝහලට පැමිණි සිටියේය. සැබෑ කථාව රෝහලේ හිමිකාර වෛද්‍යාවරයා දැන සිටියත් රිල්වාන්ව එහි ඇතුළත් කරන්නේ ගෑස් ටැංකියක් පිපිරීමෙන් සිදුවූ අනතුරක් බව සඳහන් කරමිනි.

රිල්වාන් එම පුද්ගලික රෝහලේ දින 20 ක් පමණ ප්‍රතිකාර ගත්තේය. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන්නේ කොළඹ ජාතික රෝහලටය. කොළඹ ඇස් රෝහලේදී පවා ඔහුට ප්‍රතිකාර ලැබී ඇත්තේ ඇසකට දැඩි හානි සිදුවී තිබුණු බැවිණි. පුද්ගලික රෝහලේ වාර්තාවල ගෑස් ටැංකි පිපිරුමක් බව සඳහන්ව තිබීම නිසා ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට පවා ඒ ගැන සැකයක් නොවීය.

කාතන්කුඩියේ සිට රිල්වාන්ව කොළඹට රැගෙන යන මොහෙයුම ක්‍රියාත්මකවන අතර තුර සන්නද්ධ අංශයේ නායක මිල්හාන් තවත් මෙහෙයුමක් දියත් කළේය. ඒ ඔල්ලිකුලම ගොවිපොල භුමියේ තිබුණු රිල්වාන් විසින් නිෂ්පාදනය කළ තවත් බෝම්බ කිහිපයක් සහ පුපුරණ ද්‍රව්‍ය සඟවන්නටය. සිය ගෝලබාලයින් යොදා ඔහු එම බොම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සඟවන්නේ කාතන්කුඩි වෙරළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය විසින් කරනු ලබන මෙහෙයුම් වලට සහරාන්ගේ ගෝල බාලයන් කොටුවන්නේ බුරුතු පිටිනි. නූර් පල්ලිය අසල රිල්වාන් ඇටවූ බොම්බය පුපුරා යන විට ඒ අසල සිටි සහරාන්ගේ ගෝලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටියහ. ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් බොහෝ දේවල් හෙළි කළේය. එදා වෙරළේ වල දැමූ පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ රැසක්ම රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෙන් ගොඩ ගන්නේ ඒ අනුවය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...