Monday, July 22, 2019

සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා වර්ධනය

වර්තමානයේදී ජනමාධ්‍ය මුල් කොට ගනිමින් ලෝකයේ පවතින සන්නිවේදන ක්‍රියාදාමය පිලිබද විමර්ශනයේදී අනාවරනය වන්නේ එය දීර්ඝ කාලීන විකාශනයක ප්‍රථිඵලයක් බවය. මානව සන්නිවේදනය ආරම්බ වී බොහෝ කාලයක් ගත වුවද සන්නිවේදනය විෂයක් ලෙස අධ්‍යනය කිරීම ආරම්බ වී ගතව ඇත්තේ ඉතා කෙටි කාලයකි.
සන්නිවේදනය යන සංකල්පයෙන් විග්‍රහ වනුයේ එක් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හෝ කන්ඩායමකට අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමය. එය සන්නිවේදනය යන්නෙහි මූලිකම අදහසයි. නමුත් වර්තමනයේදී සන්නිවේදනය යන්නෙන් ඉහත මූලික අදහසට වඩා විස්තීරන බවක් පෙන්නුම් කරයි.එනම් අද වන විට සන්නිවෙදනය යන්නෙන් හුදෙක්ම එක් පර්ශවයකින් තවත් පාර්ශවයක් වෙත කෙරෙන තොරතුරු හුවමරුව ඉක්මවා ගිය ගෝලීයකරණය වූ සන්නිවෙදන ක්‍රියාදාමයක් සිදුවන බවය. එසේම ජනමාධ්‍ය හා තාක්ෂණිකමය වශයෙන් වර්ධනය වූ නවීන සන්නිවේදනය බහුවිධ මානව හා භෞතික සම්පත් උපයොජනයකින් සමන්විත වන සංකීර්ණ ක්‍රියාදාමයකි. මෙම කරුණු පදනම් කර ගනිමින් අද වන විට සන්නිවේදනය සමාජීයව වැදගත්වන සංසිද්ධියක් බවට පත්ව තිබේ. 20 වන සියවසේ ආරම්බයත් සමගම සන්නිවේදන විෂය ශාස්ත්‍රීය පදනමක් සහිතව අධ්‍යනය කරන විෂයක් ලෙස නූතන සමාජ ශාස්ත්‍ර විෂය ධාරාවට පිවිස තිබේ.එසේම අද වන විට සන්නිවේදනය ඉතා ජනප්‍රිය සේම ලොව පුරා විශ්ව විද්‍යාලවල අධ්‍යනයන්ට ලක්වන පුළුල් පරාසයක් කරා විසිරී ඇති විෂයක් බවට පත්ව තිබේ.
සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය පිලිබදව විමසීමේදී 1900 මුල් දශකයෙන් පසුව එහි ආරම්භය සනි‍ටුහන් කිරීමට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කල මනෝ විශ්ලේෂණ වාදයත් කාල් මාක්ස් ඉදිරිපත් කල මාක්ස්වාදයත් යන මේ දාර්ශනික වූ න්‍යායික බුද්ධිමය පදනම මේ සදහා වක්‍රාකාර බලපෑමක් වූ බව සදහන් කල හැකිය.
1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ආරම්භ කල නාසි පාලනයත් සමග යුරෝපීය විද්වතුන් විශාල පිරිසක් ඇමරිකාවට සංක්‍රමනය විය. ජර්මනියේ ජාතික විශ්ව විද්‍යාල වලින් පිටමන් කල විද්වතුන් විශාල පිරිසක් මේ අතර වූහ. ඒ අතරට ඇල්බට් අයින්ස්ටයින්, එරික් එරික්සන්, ජෝන් වෝග් නියුමාන්, කර්ට් ලෙවින් ආදී විශිෂ්ට ගනයේ විද්වතුන්ද ඇතුලත් විය. එපමනක්ද නොව 'ෆැන්ක්ෆර්ට්' ගුරුකුලයද ඒ අතර විය. මෙම නිසා ඇමරිකාව තුළ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වන්නට අවශ්‍යය පදනම සකස් විය. සන්නිවේදන අධ්‍යන ඇමරිකාව තුළ ඇති වන්නට අවශ්‍යය පසුබිම සැකසෙන්නේද මේ පසුබිම තුළය. නමුත් ඇමරිකාව තුළ සන්නිවේදන අධ්‍යනයන්ට පුරෝගාමී වූ කර්ට්න් ලෙවින් මෙන්ම ගර්බ්නර් ද සිය ආචාර්ය උපාධි ලබාගෙන තිබුනේ ජර්මනියෙන් සහ හංගේරියාවෙන්ය මෙම නිසා සන්නිවේදන අධ්‍යයන ඇමරිකාවේ ආරම්භ වුවද එහි මූලාරම්භය යුරෝපයේ ඇති වූ බව සදහන් කල හැකිය.
මෙසේ ආරම්භ වන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනයෙහිලා විශාල බලපෑමක් කල ගුරුකුලයක් ලෙස 'චිකාගෝ ගුරුකුලය' හදුනාගත හැකිය. 1892 චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි ශාස්ත්‍ර සම්ප්‍රදායට අයත් වූ බුද්ධිමතුන් පිරිස මෙනමින් හැදින්වේ. සන්නිවේදන න්‍යාය හා පර්යේෂන සදහා මෙම ගුරු කුලය බෙහෙවින් වැදගත් විය. ඇමරිකානු සමජ ශාස්ත්‍ර අධ්‍යයන ක්ෂේත්‍රයෙහි නව වෙනසක් කිරීමට මෙම ගුරු කුලයට හැකි විය. සන්නිවේදනයෙහි මානවීය හා සමාජීය වටිනාකම ප්‍රත්‍යක්ෂ කල චිකාගෝ විද්වත්හු අනාගත සන්නිවේදන පර්යේෂණ සදහා පදනම සැකසූහ. චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි සමාජ විද්‍යාව හා සමාජ මනෝ විද්‍යාව මුල් කරගත් ශාස්ත්‍ර ප්‍රබෝධය හෝට්න් කුලී, ජෝර්ජ් හර්බර්ඩ් මීඩ්, රොබට් ඊ පාක් සහ ජෝන් ඩේව් යන විද්වතුන් විසින් දක්වන ලද අප්‍රතිහත දායකත්වය නිසා ඇති වූවක් බව දැක්විය හැකිය. මෙම සිව්දෙනාම ඔවුනොවුන්ට වෙනස් වූ ශාස්ත්‍රීය පර්යේෂණවල නියුක්තව එවායින් සුපොසිත දැනුම් සම්බාරය මතින් ස්වකීය දායකත්වය දක්වන ලදි. සන්නිවෙදන අධ්‍යයන ක්ෂේත්‍රය සදහා ඔවුන් දක්වන ලද දායකත්වය සුවිශේෂී වේ. ඔවුන් මනව සන්නිවේද්නයේ පුද්ගල නි ශිත ලක්ෂණ අවද්ධාරනය කලහ.සංදේශයක අර්ථ නිරූපනය එය ප්‍රතිග්‍රහනය කරන ග්‍රාහකයාගේ ස්වභාවය අනුව තීරණය වන බව ඔවුන්ගේ පිලිගැනීම විය. මොවුන්ගේ මෙම සමාජ ශාස්ත්‍රවල ගවේශනාත්මක ප්‍රථිඵල ප්‍රථිපල සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි පෝෂණය සදහා හේතු විය.
විවිද හේතූන් මුල් කර ගනිමින් චිකාගෝ ගුරුකුලය 1935 පමණ වන විට විශාල ලෙස පරිහානියකට ලක් වෙමින් පැවතිණි. චිකාගෝ ගුරුකුලය බිද වැටීමට සමගාමීව පෝල් ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලය මුල් කරගත් අධ්‍යයන හා පර්යේෂණ ක්‍රියාදාමයක් බිහි විය. නිව්යෝක් නගරය එවක ඇමරිකාවේ නගී ආ සන්නිවේදන හා ප්‍රචාරක කර්මාන්තවල මධ්‍යස්ථානය විය. ලැසාස්ෆෙල්ඩ් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි විද්වත් එකමුතුව විසින් ජනසන්නිවේදනයේ බලපෑම ආදී ජාතික මට්ටමේ පර්යේෂණ ගැටලු අධ්‍යයනය කිරීමට පටන් ගත්හ. සන්නිවේදන අධ්‍යයන ඉතිහාසය පිලිබද විමර්ශනයේදී 1920-40 අතර කාලයේ එය ආරම්භ වන්නේ විචිධ විෂයන් පිලිබදව විශ්‍රාරදයින්ගේ දැනුම් සම්භාරය මතින් බව පැහැදිලිය. එහිදී ප්‍රචාරණය පිලිබද ලැසාස්වෙල්ගේ ආනුභවික අධ්‍යනයත්,ග්‍රාහක සමූහ වෙත ගුවන් විදුලියේ බලපෑම පිලිබද ලැසාස්ෆෙල්ඩ්ගේ අධ්‍යයනයත් සුවිශේෂී වේ. සන්නිවේදන අධ්‍යයනයන් සදහා හැරල්ඩ් ලැස්වේල් , පෝල් ලැසාස්ෆෙල්ඩ් , කර්ට් ලෙවෙන් සහ කාල් හවුලන්ඩ් අතින් මුලික පදනම සකස් වූ බව සදහන් කල හැකිය. නමුත් එවරට් එම්. පාක් ප්‍රමුඛ චිකාගෝ ගුරුකුලය විසින් ඉදිරිපත් කරන ලද මතවාදයයි. වෝල්ටර් ලිප්මන් මානව සම්බන්ධතාවන්හි සාරය සන්නිවේදනය ලෙස සලකන ලදි. මෙසේ සමජය විෂයෙහි සන්නිවේදන විෂයට හිමි ස්ථානය හා එහි වැදගත්කම පිළිබදව ඉතා වැදගත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමට චිකාගෝ ගුරුකුලයට හැකි විය. කෙසේ නමුත් රොජර්ස් වැඩි දුරටත් සදහන් කරන්නේ චිකාගෝ ගුරුකුලයට වඩා විධිමත් ලෙස සන්නිවේදන අධ්‍යයන ආරම්භයක් සදහා ලැසාස්වෙල්, රොජර් මේ පිලිබදව අදහස් දක්වමින් කියා සිටියේ සන්නිවේදන අධ්‍යයනයන් පිලිබද මුලයන් චිකාගෝ ගුරුකුල විද්වතුන් හා වෝල්ටර් ලිප්මන්ගේද අධ්‍යයයන කරාද විහිදී යන බවය. සන්නිවේදනය යනු හුදෙක් වි පන ප්‍රකාශනය හා ප්‍රචාරණය පමණක් නොවන බවත් එය සමාජය නිර්මාණය කරන සහ සමාජය විසින්ම පවත්වාගෙන යන්නක් බවත් රොබර්ට් ලැසාස්ෆෙල්ඩ්, හවුලන්ඩ්, ලෙවින් යන විද්වතුන්ගෙන් වඩාත් සංවිධිත දායකත්වයක් ලැබුණු බවය.
මහාචාර්ය රොජර්ස් පවසන අන්දමට ප්‍රංශයේ ගේබ්‍රියල් ටාඩේ සහ ජර්මනියේ ජෝර්ජ් සිමෙල් ඇමරිකාවේ ස්න්නිවේදන අධ්‍යයන සදහා විශාල දායකත්වයක් සපයා තිබේ. ගේබ්‍රියල් ටාඩේ ප්‍රංශ ජාතික විනිශ්චය කරුවෙකි ඔහු උසාවියේදී තමා හමුවට පැමිණි පැමිණිලිකරුවන් හා විත්ති කරුවන් සාක්කි කරුවන් හා වෙනත් නීතිවේදීන් ඇතුලු පුද්ගලයින්ගේ චර්යාව පිලිබද සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කරන ලදි. ඔහු මෙම අධ්‍යනයන් පදනම් කර ගනිමින් අනුකරණ සිද්ධාන්තය ඉදිරිපත් කරන ලදි. දිනපතා තමන්ට ඇසුරු කරන්නට හෝ ගැටීමට සිදුවන පුද්ගලයන්ගේ චර්යාව මගින් පුද්ගල චර්යාවට දැඩි බලපෑමක් එල්ල වන බවත් ඔහු නිරීක්ෂණ මගින් පෙන්වා දෙන ලදි.
ජෝර්ජ් සිමෙල් විසින් කන්ඩායම් චර්යාව පුද්ගල චර්යාව කෙරෙහි බලපාන අන්දම පෙන්වා දෙන ලදි. ඔහු පළමු වරට The web of Group Affiliations නැමැති කෘතියෙන් ජාල පිලිබද සිද්ධාන්තය ඉදිරිපත් කර පෙන්වා දෙන ලදි. සිමෙල්ට මානව චර්යාව තේරුම් ගැනීම සදහා බෙහෙවින් වැදගත් වූ ප්‍රශ්නය වූයේ සන්නිවේදන සබදතා මගින් කුමන පුද්ගලයා කුමන පුද්ගලයින්ට සම්බන්ධද යන්නයි.
මෙසේ සිමෙල් හා ටාඩේ මුලින්ම යුරෝපයේ සන්නිවේදනය පිලිබද මූලික අදහස ඇති කල නමුත් ඔවුන් දෙදෙනාගේම අදහස් ආනුභවික පර්යේෂණයට බදුන් කිරීමට හැකිවූයේ ඇමරිකාවේය. මානව සන්නිවේදනය නැමැති සමාජ ශාස්ත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ජෝන් ඩේවි, චාල්ස් හෝර්ට්න් කුලී, රොබට් ඊ පාක් හා ජෝර්ජ් හර්බට් මීඩ් යන විද්වතුන් සිව් දෙනාගෙන් විශාල දායකත්වයක් ලැබිණි. මානව චර්යාව පිලිබදව හැදෑරීමට සන්නිවේදනය ගුරු කොට ගත හැකි බව පෙන්වා දුන්නේ මොවුන් විසිනි. කුලී ස්වීයත්වය හා සමාජානුයෝජනය පිලිබද සමාජ විද්‍යා යෙක් වන අතර ඩේව් දාර්ශනිකයෙක් මෙන්ම මනෝ විද්‍ය යෙක් ද වේ. මොවුන් සන්නිවේදන අධ්‍යයන නැමැති නව විෂය සමාරම්බයට මෙන්ම එහි වර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කල විද්වතුන් අයත්ව සිටි චිකාගෝ ගුරු කුලයට අයත් වූවෝ වෙති. පනිවිඩයක් සංජානනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම පුද්ගල නි ශිත භාවයෙන් යුත් මානව ක්‍රියාවක් බව අවධාරණය කල මෙම සිවු දෙනා මානව සන්නිවෙදනය පිලිබද විද්‍යාත්මක මුහුනුවරක් ප්‍රකට කලහ. මොවුන් පෙන්වා දුන්නේ ස්න්නිවේදන ක්‍රියාවලියේදී පුද්ගලයා අතිශයින්ම වදගත් වන බවත් පණිවිඩයක් තේරුම් ගැනීම මෙන්ම එම පණිවිඩය අර්ථ නිරූපනය කිරීම පිලිබද කටයුත්ත සම්පූර්ණයෙන්ම පුද්ගලයගේ මනෝ භාවයන් මත ‍රැදී තිබෙන බවය.
චාල්ස් කුලී ප්‍රධාන ලෙසම පර්යේෂණ කටයුතු සිදු කරන ලද්දේ පුද්ගල සමාජානුයෝජනය පිලිබදවයි. ඩේව්ගේ මග පෙන්වීම අනුව ස්පෙන්සර්ගේ අදහස් හා මති මතාන්තර පිලිබදව උනන්දුවක් දක්වන්නට පටන් ගත් කුලී සමාජ විද්‍යාව කෙරෙහි ඇදී ගියේය. මුල් කාලයෙදී කුලී ස්පෙන්සර්ගෙන් බලපෑමක් ලැබූ අතර නමුත් කුලී පසු කාලයේ කියා සිටියේ ආරය හා පෞද්ගලිකත්වය පුද්ගලයකුගේ ස්වීයත්වය තීරණය කිරීම සදහා බල නොපාන බවය. දෙමාපියන්ගෙන් හා තම ආශ්‍රය කරන පුද්ගලයන් සමග කරන පුද්ගලාන්තර සන්නිවේදනය කෙනෙකුගේ සමාජානුයෝජනය කෙරෙහි සේම ස්වීයත්වය කෙරෙහිද බලපාන බව ඔහු පෙන්වා දෙන ලදි. කුලී ජන සන්නිවේදනය පිලිබද යම් ප්‍රගතිශීලී උනන්දුවක් දැක්වුවද වඩා වැඩි උනන්දුවක් දක්වන ලද්දේ පුද්ගලාන්තර සන්නිවේදනය පිළිබදවය. සමාජ ප්‍රගතිය පිලිබද දැඩි උනන්දුවක් දැක්වූ ඔහු එකල පුවත් පත් වාණිජ අරමුණු සදහා යොමුව සිටි බැවින් පුවත්පත් පිලිබද අද්‍යයනයන් සිදු කිරීමට අවධානයක් යොමු නොකරන ලදි. හැරල්ඩ් ලැස්වෙල් සෘජු ලෙස සන්නිවේදනය පිලිබද විද්වතෙක් නොවුනද සන්නිවෙදන අධ්‍යයනයෙහි නව පැතිකඩ සොයා ගැනීම විෂයෙහි ඔහු සුවිශේෂී දායකත්වයක් සපයනු ලබීය.ප්‍රචාරනය, ජනමතය සකස් වීම ජනමාධ්‍ය පිලිබද අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය සන්නිවේදන අධ්‍යයන විෂයෙහි අතිශයින් වැදගත් විය.
ඉහත ආකාරයට සන්නිවේදන අධ්‍යයන ආරම්භවීම හා එහි ක්‍රමික වර්ධනය විමර්ශනය කල හැකිය. එහිදී පැහැදිලි වන්නේ ජර්මන් නාසි වාදයත් සමග ඇමරිකාවට සංක්‍රමණය වන ලොව විශිෂ්ටතම සමාජ ශාස්ත්‍ර පිලිබද දාර්ශනිකයින් විසින් සමාජ සංසිද්ධීන් අරභයා සිදු කරන ලද සමීක්ෂණ, පරීක්ෂණ හා විශ්ලේෂණ මත පදනම්ව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික මතවාද ඔස්සේ සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය සිදු වූ බවය. එහිදී චිකාගෝ ගුරුකුලය සේම චිකාගෝ ගුරුකුලයෙහි ක්‍රමවේදාත්මක ප්‍රවේශය තුලින් සමකාලීන සමකාලීන සන්නිවේදන අධ්‍යයන සිදු කල විද්වතුන්ගෙන් සැදුම්ලත් ව්‍යාඛ්‍යායික ගුරුකුලය මගින් එය ක්‍රමිකව අභිවර්ධනය විය. මෙහිදී සදහන් කල යුතු සුවිශේෂී කරුණ වන්නේ සෑම විෂයක්ම ආරම්භ වී ඇත්තේ එම විෂය පිළිබදවම මුලික ධාරණාව රදවා ගනිමින් විෂය සදහාම කැපවූ විද්වතුන් විසින් කරන ලද විවිද පරීක්ෂණ, නිරීක්ෂණ, සම්පරීක්ෂණ පදනම් කොට එලබෙන සිද්ධාන්තයන් මගිනි. නමුත් සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය පිලිබද ඇත්තේ එවැනි පසුබිමක් නොවේ. එය ආරම්භ වී ඇත්තේ විවිද විෂය ක්ෂේත්‍රයන් පිලිබද ප්‍රවීණත්වයට පත් විද්වතුන්ගේ හා දාර්ශනිකයින්ගේ දායකත්වයෙනි. එසේ සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය සිදු වූ අතර ඒ සදහා ඇත්තේද කෙටි ඉතිහාසයකි නමුත් අද වන විට මෙම විෂය ලොව පුරා විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයනය කරන කාලීන සමාජීය තත්වයට සමගාමීව ගමන් කරන්නාවූ ඉතා ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍රයක් බවටද පත්ව ඇති බව සදහන් කල හැකිය.

13 comments:

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...