Monday, July 29, 2019

ඇමෙරිකානු ඉතිහාසයේ කළු පැල්ලම වෝටර්ගේට් අපවාදය


ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මුහුණ දුන් ආන්දෝලනාත්මක සහ අපකීර්තිමත් සිදුවීමක් ලෙස සැලකෙන වෝටර්ගේට් අපවාදය පිළිබඳවයි මෙම ලිපියෙන් විස්තර වන්නේ.
වියට්නාම් යුද්ධය, පෙන්ටගන් පත්‍රිකා වැනි එකිනෙක හා බැඳුනු සිදුවීම් සමූහයක් වෝටර්ගේට් අපවාදය හා සම්බන්ධ වූවත්, මෙම සිදුවීමේ ආරම්භය ලෙස සැලකෙන්නේ වොෂින්ටනයේ වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටා තිබූ ඩිමොක්‍රටික් ජාතික කමිටු (DNC)  ගොඩනැගිල්ලක සිදු වූ සොරකමක්.

සිදුවීම් දාමයක ආරම්භය

ඒ 1972 වර්ෂයයි. ඇමෙරිකාවේ එවක ජනාධිපතිවරයා වූයේ තිස් හත් වෙනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ රිචඩ් එම්. නික්සන්. මේ සමයේ දී මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට කටයුතු සංවිධානය වෙමින් පැවතුණා. මේ සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වශයෙන් නැවත වරක් ඉදිරිපත් වූයේ රිචඩ් නික්සන් ජනාධිපතිවරයා.
රිචඩ් නික්සන් ජනාධිපතිවරයා. (wikiwand.com)
වියට්නාම යුද්ධය හා සම්බන්ධ මතවාද නිසා රට තුළ පැහැදිලි පිල් බෙදීමක් දක්නට ලැබුණු නිසා, නැවතත් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා පත් කර ගැනීමට නම් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය නික්සන්ගේ මැතිවරණ සංවිධායකයන් (Nixon’s Committee to Re-Elect the President හෙවත් CREEP) අවබෝධ කර ගෙන සිටියා.
එනිසා පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 1972 මැයි මස වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටා තිබූ DNC කාර්යාලයට හොරෙන් ඇතුල් වී අතිශය රහසිගත ලිපිගොනු සොරා ගෙන දුරකථන මාර්ග ටැප් කරනු ලබනවා.
වෝටර්ගේට් සංකීර්ණය (history.com)
මෙම කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් තිදෙනෙක් කියුබානු ජාතිකයන්. එක් අයෙක් ඇමෙරිකානුවෙක් සහ අනෙකා CIA නියෝජිතයෙක්.
නමුත් මෙම ටැප් කිරිම නිසියාකාරයෙන් සිදු නොවූ නිසා නැවතත් ජූනි මස 17 වන දින හිමිදිරියේ පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නැවතත් වෝටර්ගේට් ගොඩනැගිල්ලට ඇතුල්වන්නේ නව මයික්‍රොෆෝනයක් පවා සවි කිරීමේ අදහසින්. නමුත් විමසිලිමත් මුර භටයෙකුගේ ක්‍රියාව නිසා මොවුන් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.
මුලින්ම මොවුන් ජනාධිපතිවරයා හා සම්බන්ධ බව හෙළි නොවූවත් පසුව පරීක්ෂණ  කටයුතු කරගෙන යාමේ දී ධවල මන්දිරය හා සම්බන්ධ දුරකථන අංක සැකකරුවන් සතුව තිබී හමු වෙනවා. නමුත් අගෝස්තු මාසයේ දී නික්සන් මේ සම්බන්ධව තමාගේ නිර්දෝශීභාවය ඉදිරිපත් කරමින් කතාවක් සිදු කරනවා. ඔහුගේ බොහෝ අනුගාමිකයන් ඔහුව විශ්වාස කරන අතර 1972 නොවැම්බර් මාසයේ නැවතත් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා.

නීතිය අයථා ලෙස ක්‍රියාවේ යෙදවීම

පසුව හෙළි වන පරිදි නික්සන් මුල සිටම අවංකව  කටයුතු කර තිබුනේ නැහැ. සොරකමට සම්බන්ධ වූ පස් දෙනාට එයින් දින කිහිපයකට අති විශාල මුදල් සම්භාරයක් ලැබෙන්නට සලස්වනවා. එසේම මෙම සිදුවීම සම්බන්ධව කටයුතු කරමින් සිටි FBI නියෝජිතයන්ගේ ක්‍රියාවන් වැලැක්වීමට CIA නියෝජිතයන් යොදවනවා. මෙය සොරකමටත් වඩා බැරෑරුම් අපරාධයක් යටතට ගැනෙන අතර ජනාධිපති වරයා සතු බලතල අයථා ලෙස යෙදවීමක්.

බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටීන් ගේ මෙහෙයුම

ටිකෙන් ටික සිදු වීමේ උණුසුම මැකී යන ලෙස කරුණු සිදු වූවත්, එවක වොෂින්ටන් පෝස්ට් හි වාර්තාකරුවන් දෙදෙනෙකුව සිටි බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටීන් ඇතුළු තවත් පිරිසක් මෙම සිදු වීම යටපත් වීමට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් විශ්වාස කළා මෙහි මතුපිටින් පෙනෙනවාට වඩා වැඩි යමක් ඇති බවට. මෙහිදී නික්සන්ගේ වෝටර්ගේට් හා සම්බන්ධ සෘජු මැදිහත් වීම පිළිබඳවත්, මෙම සම්පූර්ණ ක්‍රියාදාමය හා ජනාධිපතිවරණ ප්‍රචාරණ  කටයුතු සඳහා අයථා අන්දමින් උපයන ලද මුදල් භාවිතා කළේ ද යන වග පිළිබඳවත් ඔවුන් විසින් සැක සාංකා මතු කළා.
බොබ් වුඩ්වර්ඩ් (දකුණේ) සහ කාර්ල් බර්න්ස්ටීන් (වමේ) (time.com)
එසේම මෙම සිදුවීමට අදාල ඇතැම් රහසිගත තොරතුරු මොවුන්ට ලැබෙනවා. ඒ Deep throat යන අන්වර්ථ නාමයකින් හඳුන්වා ගත් අයෙකුගෙන්. සිදු වීමෙන් වසර තිහකට පසු හෙළිදරව් වන පරිදි, Deep throat යනු එවක FBI හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ව සිටි W මාර්ක් ෆෙල්ට්.
මාර්ක් ෆෙල්ට් (nypost.com)

ඉහළම පීඩනය

මේ විමර්ශනත් සමඟ ඇති වූ පීඩනයන් නිසා අදාල සිදුවීමට සම්බන්ධ ඇතැම් පාර්ශවයන්ගේ නික්සන් කෙරේ තිබූ පක්ෂපාතීත්වය ගිලිහෙන්නට පටන් ගන්නවා. නික්සන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් නික්සන්ට විරුද්ධව සාක්ෂි දීමට පෙළඹෙනවා. එසේම ඔවුන් ප්‍රකාශ කර සිටිනවා නික්සන් විසින් ඕවල් කාර්යාලයේ සිදු වූ සාකච්ඡා සියල්ල පටිගත කර ඇති බවත්, එම හඬ පට ලබා ගත හැකි නම් නික්සන්ගේ වරදකාරී බව ඔප්පු කළ හැකි බවත්.
නමුත් නික්සන් විසින් මෙම හඬ පට ලබා දීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ දී ඔහු තමා සතුව ඇති බලතල පාවිච්චි කරමින් එම හඬ පට තමා වෙත රඳවා ගැනීමට උත්සාහ දරනවා. නමුත් නීති ක්‍ෂේත්‍රයේ ඉහළ නිළධාරින් කෙසේ හෝ එය ලබා ගන්නට උත්සාහ දරනවා. මෙය අවසන් වන්නේ ජනාධිපති විසින් ඇතැම් නිලධාරින් සේවයෙන් පහ කීරීමෙනුත්, එයට සමස්ත නීතිය හා සම්බන්ධ නිළධාරීන්ගේ අප්‍රසාදය යොමු වීමෙනුත්.
අවසානයේදී නික්සන් සියළුම හඬ පට නැතත් කිහිපයක් පමණක් දීමට එකඟත්වය පල  කරනවා. නික්සන් හඬ පට 9ක් ලබා දීමට එකඟ වූවත්, ලබා දෙන්නේ 7ක් පමණයි. එයිනුත් එකක විනාඩි දහ අටක පමණ කාල අන්තරයක් තිබෙනවා. මෙය අත්වැරදීමක් විය නොහැකි බව සලකා අවසානයේ දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නික්සන් හට නියෝග කරනවා එම හඬ පට පරීක්‍ෂන කටයුතු සඳහා ලබා දෙන ලෙසට.
අවසානයේ නීත්‍යානුකූලව කටයුතු නොකිරීම, බලය අයථා ලෙස පරිහරණය, අපරාධ වසන් කිරීම යන වරදවලට නික්සන්ට චෝදනා එල්ල වෙනවා.
1974 අගෝස්තු මස 5 වන දින මෙම හඬ පට මුදා හැරෙනවා. එයින් වෝටර්ගේට් සිද්ධිය හා සම්බන්ධව නික්සන්ගේ ඇති සම්බන්ධතාවය තහවුරු වෙනවා. අගෝස්තු 8 වෙනි දින ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා.

නව ජනාධිපති පත්වීම

උප ජනාධිපති වශයෙන් සිටි ජෙරාඩ් ෆෝඩ් මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ නික්සන්ගේ ඉල්ලා අස් වීමෙන් සති හයකට පමණ පසුව. ඔහු හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ සහ කොන්දේසි විරහිත සමාව ලබා දෙනවා. නමුත් නික්සන්ගේ ආධාරකරුවන් එතරම් වාසනාවන්ත වන්නේ නැහැ. ඔවුන් කළ වැරදි වලට දඬුවම් ලබනවා.
ජෙරාඩ් ෆෝඩ් (wikipedia.org)
වෝටර්ගේට් සිදුවීම පිළිබඳ ව විවිධ මතවාද තිබෙනවා. ඇතැමුන් එය නික්සන් ජනාධිපතිවරයා උගුලක සිර කිරීමට කළ කුමන්ත්‍රණයක් බවත් පවසනවා. කෙසේ නමුත්, මෙම වෝටර්ගේට් සිදුවීම ඇමෙකාව පමණක් නොව ලෝකය පුරාම ආන්දෝලනයකට ලක්වූ සිදුවීමක්. එසේම මෙම සිදු වීම අලලා නිපදවූ චිත්‍රපටි විශාල ගණනක් තිබෙනවා. මෙම සිදුවීම නිසා ජනාධිපතිවරයාගේ පාරිශුද්ධත්වය කෙරෙහි ජනතා අවධානය යොමු වීම ආරම්භ වුණා. එය අවසානයේ වූ යහපත් ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

Sunday, July 28, 2019

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්ග්මාර් බර්ග්මාන්



ලෝක සිනමාව යන විෂය සැලකිල්ලට ගැනීමේදී පළමු කතානාද චිත්‍රපටය වූ, 1927 වසරේ තිරගත වූ 'ද ජෑස් සිංගර්' චිත්‍රපටය බිහිවීමෙන් පසු ලොව පුරා විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරුන් බිහිවුණා. යුරෝපය ද එවැනි විශිෂ්ටතමයින් රාශියක් ලොවට දායාද කළ මහාද්වීපයක්.
ස්කැන්ඩිනේවියාවට අයත් ස්වීඩනය ලෝක සාහිත්‍යයට ඉතා විශාල මෙහෙයක් සිදුකළ රටක්. ලෝක සිනමාවටත් ස්වීඩනයෙන් මහඟු දායාද කිහිපයක්ම ලැබුණා. ඒ අතරින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඉන්ග්මාර් බර්ග්මාන්ට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. විසිවන සියවසෙහි බිහිවූ ලොව විශිෂ්ටතම සිනමාකරුවන් කිහිපදෙනා අතර ඉදිරි ස්ථානයක ඔහුගේ නාමය වැජඹෙනවා. ඔහුටම ආවේණික වූ ශෛලියකින් නිර්මාණ කළ බර්ග්මාන් අධ්‍යක්ෂණය කළ, ලෝ පතල සිනමා කෘතීන් කිහිපයක්ම වෙනවා.

Thursday, July 25, 2019

ලෝකයේ පළමු ස්මාර්ට් ෆෝන් එක


හරි ඔයාල දන්නේ නැතිවට 2014 අගෝස්තු මාසේ 16 වෙනිදාට ලෝකේ පළමු ඉස්මාර්ට් ෆෝන් එක නිපදවල අවුරුදු 20 වෙනවා, ඒ කියන්නේ දැන් ඉස්මාර්ට් ෆෝන් ගතකරන්නේ එයාගේ බද්‍ර යවුවනය කිවුවට ඔයාලා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ.

හරි හරි දැන් බලමු මොකද්ද මේ හා හා පුරා කියල ඉස්සෙල්ලම හදපු ඉස්මාර්ට් ෆෝන් එක කියල. මේකේ නම තමයි අයි.බි.එම්. සිමොන්(IBM Simon) ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෝකප්ප්‍රසිද්ද අයි.බි.එම්. ආයතනය මගින්.

මේක ඇවිල්ල ඒ දවස් වල හදුන්වල තියෙන්නේ ඉස්මාර්ට් ෆෝන් කියන නමෙන්නම් නෙවෙයි මොකද ඒ වෙනකොට "ඉස්මාර්ට් ෆෝන්" කියන වචනය බිහිවෙලා නොතිබුන නිසා. නමුත් මෙම ගැජට් ඒකක 50,000 ආසන්න ප්‍රමාණයක් අයි.බි.එම්. ආයතනය මගින් වෙළද පොලට නිකුත් කරලා තියනවා ඒ එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 899 ලෙස සටහන් කොට(එම මුදලේ වර්තමාන වටිනාකම ඇ. ඩො. 1400 පමණ).

හරි මම තවම කිවුවේ නැහැ නේ මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් මොනවද කර ගන්න පුළුවන් වුනේ කියලා.

01. දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව. (මේකටනම් ඉස්මාර්ට් ෆෝන් එකක්ම වෙන්න ඕනේ නැහැ නේ)
02. මේක ඇවිල්ල ටච් ඉස්ක්‍රින් වර්ගයේ දුරකතනයක්.
03. ෆැක්ස් පණිවිඩ යැවීමේ සහා ලැබිමේ හැකියාව.
04. ඉ-මේල් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
05. සෙලියුලර් පේජස් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
06. ලිපන නාමාවලියක්(addres book).
07. කැලැන්ඩරයක්.
08. හමුවීම් කළමනාකරණයක් (appointment scheduler).
09. ගණක යන්ත්‍රයක්(calculator).
10. ඔරලෝසුවක්.
11. සටහන් පොතක් (electronic note pad).

ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කර ගන්න මේ Smart Phone එකෙන් පුළුවන් වුනා.

ලෝකයේ විශාලතම මල ගැන බිඳක්


ලෝකයේ විශාලතම මලලෙස සැලකෙන්නේ රැෆ්ලේෂියා ආර්නෝල්ඩ් නම් මලයි.මෙය පරපෝෂිත මලකි.එය වැවෙන්නේ අග්නිදිග ආසියාවේ ඝන වැසි වනාන්තර තුල පමණි.එම නිසා මෙම මල උද්භිද උද්‍යානවලවත් දකින්න ලැබෙන්නේ නැ.පෙති විහිදුනු පසු මෙම මලේ විෂ්කම්භය අඩි 3ක් පමණ වෙන අතර එවිට මෙම මලේ බර සාමාන්‍යයෙන් 7kg පමණ වෙනවා.සාමන්‍යයෙන් මිනිසුන් මෙම මල හදුන්වන්නේ මළකුණු ගද ඇති ලිලි මල යනුවෙන්.මෙහි සුවද නිසා එවැනි ලෙස අමතනවා විය හැක.මේ මල පවතින්නේ දින 5ක් 7ක් වැනි කාලයක්.මෙම මලෙහි සුවදට කෘමි සතුන් විශාල ප්‍රමාණයක් ඇදී එනවා.මේ මල තද රතු පැහැයට ආසන්න වර්ණ කිහිපයකින් දැකිය හැකියි...........

Monday, July 22, 2019

සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා වර්ධනය

වර්තමානයේදී ජනමාධ්‍ය මුල් කොට ගනිමින් ලෝකයේ පවතින සන්නිවේදන ක්‍රියාදාමය පිලිබද විමර්ශනයේදී අනාවරනය වන්නේ එය දීර්ඝ කාලීන විකාශනයක ප්‍රථිඵලයක් බවය. මානව සන්නිවේදනය ආරම්බ වී බොහෝ කාලයක් ගත වුවද සන්නිවේදනය විෂයක් ලෙස අධ්‍යනය කිරීම ආරම්බ වී ගතව ඇත්තේ ඉතා කෙටි කාලයකි.
සන්නිවේදනය යන සංකල්පයෙන් විග්‍රහ වනුයේ එක් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හෝ කන්ඩායමකට අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමය. එය සන්නිවේදනය යන්නෙහි මූලිකම අදහසයි. නමුත් වර්තමනයේදී සන්නිවේදනය යන්නෙන් ඉහත මූලික අදහසට වඩා විස්තීරන බවක් පෙන්නුම් කරයි.එනම් අද වන විට සන්නිවෙදනය යන්නෙන් හුදෙක්ම එක් පර්ශවයකින් තවත් පාර්ශවයක් වෙත කෙරෙන තොරතුරු හුවමරුව ඉක්මවා ගිය ගෝලීයකරණය වූ සන්නිවෙදන ක්‍රියාදාමයක් සිදුවන බවය. එසේම ජනමාධ්‍ය හා තාක්ෂණිකමය වශයෙන් වර්ධනය වූ නවීන සන්නිවේදනය බහුවිධ මානව හා භෞතික සම්පත් උපයොජනයකින් සමන්විත වන සංකීර්ණ ක්‍රියාදාමයකි. මෙම කරුණු පදනම් කර ගනිමින් අද වන විට සන්නිවේදනය සමාජීයව වැදගත්වන සංසිද්ධියක් බවට පත්ව තිබේ. 20 වන සියවසේ ආරම්බයත් සමගම සන්නිවේදන විෂය ශාස්ත්‍රීය පදනමක් සහිතව අධ්‍යනය කරන විෂයක් ලෙස නූතන සමාජ ශාස්ත්‍ර විෂය ධාරාවට පිවිස තිබේ.එසේම අද වන විට සන්නිවේදනය ඉතා ජනප්‍රිය සේම ලොව පුරා විශ්ව විද්‍යාලවල අධ්‍යනයන්ට ලක්වන පුළුල් පරාසයක් කරා විසිරී ඇති විෂයක් බවට පත්ව තිබේ.
සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය පිලිබදව විමසීමේදී 1900 මුල් දශකයෙන් පසුව එහි ආරම්භය සනි‍ටුහන් කිරීමට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කල මනෝ විශ්ලේෂණ වාදයත් කාල් මාක්ස් ඉදිරිපත් කල මාක්ස්වාදයත් යන මේ දාර්ශනික වූ න්‍යායික බුද්ධිමය පදනම මේ සදහා වක්‍රාකාර බලපෑමක් වූ බව සදහන් කල හැකිය.
1933 දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ආරම්භ කල නාසි පාලනයත් සමග යුරෝපීය විද්වතුන් විශාල පිරිසක් ඇමරිකාවට සංක්‍රමනය විය. ජර්මනියේ ජාතික විශ්ව විද්‍යාල වලින් පිටමන් කල විද්වතුන් විශාල පිරිසක් මේ අතර වූහ. ඒ අතරට ඇල්බට් අයින්ස්ටයින්, එරික් එරික්සන්, ජෝන් වෝග් නියුමාන්, කර්ට් ලෙවින් ආදී විශිෂ්ට ගනයේ විද්වතුන්ද ඇතුලත් විය. එපමනක්ද නොව 'ෆැන්ක්ෆර්ට්' ගුරුකුලයද ඒ අතර විය. මෙම නිසා ඇමරිකාව තුළ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති වන්නට අවශ්‍යය පදනම සකස් විය. සන්නිවේදන අධ්‍යන ඇමරිකාව තුළ ඇති වන්නට අවශ්‍යය පසුබිම සැකසෙන්නේද මේ පසුබිම තුළය. නමුත් ඇමරිකාව තුළ සන්නිවේදන අධ්‍යනයන්ට පුරෝගාමී වූ කර්ට්න් ලෙවින් මෙන්ම ගර්බ්නර් ද සිය ආචාර්ය උපාධි ලබාගෙන තිබුනේ ජර්මනියෙන් සහ හංගේරියාවෙන්ය මෙම නිසා සන්නිවේදන අධ්‍යයන ඇමරිකාවේ ආරම්භ වුවද එහි මූලාරම්භය යුරෝපයේ ඇති වූ බව සදහන් කල හැකිය.
මෙසේ ආරම්භ වන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනයෙහිලා විශාල බලපෑමක් කල ගුරුකුලයක් ලෙස 'චිකාගෝ ගුරුකුලය' හදුනාගත හැකිය. 1892 චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි ශාස්ත්‍ර සම්ප්‍රදායට අයත් වූ බුද්ධිමතුන් පිරිස මෙනමින් හැදින්වේ. සන්නිවේදන න්‍යාය හා පර්යේෂන සදහා මෙම ගුරු කුලය බෙහෙවින් වැදගත් විය. ඇමරිකානු සමජ ශාස්ත්‍ර අධ්‍යයන ක්ෂේත්‍රයෙහි නව වෙනසක් කිරීමට මෙම ගුරු කුලයට හැකි විය. සන්නිවේදනයෙහි මානවීය හා සමාජීය වටිනාකම ප්‍රත්‍යක්ෂ කල චිකාගෝ විද්වත්හු අනාගත සන්නිවේදන පර්යේෂණ සදහා පදනම සැකසූහ. චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි සමාජ විද්‍යාව හා සමාජ මනෝ විද්‍යාව මුල් කරගත් ශාස්ත්‍ර ප්‍රබෝධය හෝට්න් කුලී, ජෝර්ජ් හර්බර්ඩ් මීඩ්, රොබට් ඊ පාක් සහ ජෝන් ඩේව් යන විද්වතුන් විසින් දක්වන ලද අප්‍රතිහත දායකත්වය නිසා ඇති වූවක් බව දැක්විය හැකිය. මෙම සිව්දෙනාම ඔවුනොවුන්ට වෙනස් වූ ශාස්ත්‍රීය පර්යේෂණවල නියුක්තව එවායින් සුපොසිත දැනුම් සම්බාරය මතින් ස්වකීය දායකත්වය දක්වන ලදි. සන්නිවෙදන අධ්‍යයන ක්ෂේත්‍රය සදහා ඔවුන් දක්වන ලද දායකත්වය සුවිශේෂී වේ. ඔවුන් මනව සන්නිවේද්නයේ පුද්ගල නි ශිත ලක්ෂණ අවද්ධාරනය කලහ.සංදේශයක අර්ථ නිරූපනය එය ප්‍රතිග්‍රහනය කරන ග්‍රාහකයාගේ ස්වභාවය අනුව තීරණය වන බව ඔවුන්ගේ පිලිගැනීම විය. මොවුන්ගේ මෙම සමාජ ශාස්ත්‍රවල ගවේශනාත්මක ප්‍රථිඵල ප්‍රථිපල සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි පෝෂණය සදහා හේතු විය.
විවිද හේතූන් මුල් කර ගනිමින් චිකාගෝ ගුරුකුලය 1935 පමණ වන විට විශාල ලෙස පරිහානියකට ලක් වෙමින් පැවතිණි. චිකාගෝ ගුරුකුලය බිද වැටීමට සමගාමීව පෝල් ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලය මුල් කරගත් අධ්‍යයන හා පර්යේෂණ ක්‍රියාදාමයක් බිහි විය. නිව්යෝක් නගරය එවක ඇමරිකාවේ නගී ආ සන්නිවේදන හා ප්‍රචාරක කර්මාන්තවල මධ්‍යස්ථානය විය. ලැසාස්ෆෙල්ඩ් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි විද්වත් එකමුතුව විසින් ජනසන්නිවේදනයේ බලපෑම ආදී ජාතික මට්ටමේ පර්යේෂණ ගැටලු අධ්‍යයනය කිරීමට පටන් ගත්හ. සන්නිවේදන අධ්‍යයන ඉතිහාසය පිලිබද විමර්ශනයේදී 1920-40 අතර කාලයේ එය ආරම්භ වන්නේ විචිධ විෂයන් පිලිබදව විශ්‍රාරදයින්ගේ දැනුම් සම්භාරය මතින් බව පැහැදිලිය. එහිදී ප්‍රචාරණය පිලිබද ලැසාස්වෙල්ගේ ආනුභවික අධ්‍යනයත්,ග්‍රාහක සමූහ වෙත ගුවන් විදුලියේ බලපෑම පිලිබද ලැසාස්ෆෙල්ඩ්ගේ අධ්‍යයනයත් සුවිශේෂී වේ. සන්නිවේදන අධ්‍යයනයන් සදහා හැරල්ඩ් ලැස්වේල් , පෝල් ලැසාස්ෆෙල්ඩ් , කර්ට් ලෙවෙන් සහ කාල් හවුලන්ඩ් අතින් මුලික පදනම සකස් වූ බව සදහන් කල හැකිය. නමුත් එවරට් එම්. පාක් ප්‍රමුඛ චිකාගෝ ගුරුකුලය විසින් ඉදිරිපත් කරන ලද මතවාදයයි. වෝල්ටර් ලිප්මන් මානව සම්බන්ධතාවන්හි සාරය සන්නිවේදනය ලෙස සලකන ලදි. මෙසේ සමජය විෂයෙහි සන්නිවේදන විෂයට හිමි ස්ථානය හා එහි වැදගත්කම පිළිබදව ඉතා වැදගත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමට චිකාගෝ ගුරුකුලයට හැකි විය. කෙසේ නමුත් රොජර්ස් වැඩි දුරටත් සදහන් කරන්නේ චිකාගෝ ගුරුකුලයට වඩා විධිමත් ලෙස සන්නිවේදන අධ්‍යයන ආරම්භයක් සදහා ලැසාස්වෙල්, රොජර් මේ පිලිබදව අදහස් දක්වමින් කියා සිටියේ සන්නිවේදන අධ්‍යයනයන් පිලිබද මුලයන් චිකාගෝ ගුරුකුල විද්වතුන් හා වෝල්ටර් ලිප්මන්ගේද අධ්‍යයයන කරාද විහිදී යන බවය. සන්නිවේදනය යනු හුදෙක් වි පන ප්‍රකාශනය හා ප්‍රචාරණය පමණක් නොවන බවත් එය සමාජය නිර්මාණය කරන සහ සමාජය විසින්ම පවත්වාගෙන යන්නක් බවත් රොබර්ට් ලැසාස්ෆෙල්ඩ්, හවුලන්ඩ්, ලෙවින් යන විද්වතුන්ගෙන් වඩාත් සංවිධිත දායකත්වයක් ලැබුණු බවය.
මහාචාර්ය රොජර්ස් පවසන අන්දමට ප්‍රංශයේ ගේබ්‍රියල් ටාඩේ සහ ජර්මනියේ ජෝර්ජ් සිමෙල් ඇමරිකාවේ ස්න්නිවේදන අධ්‍යයන සදහා විශාල දායකත්වයක් සපයා තිබේ. ගේබ්‍රියල් ටාඩේ ප්‍රංශ ජාතික විනිශ්චය කරුවෙකි ඔහු උසාවියේදී තමා හමුවට පැමිණි පැමිණිලිකරුවන් හා විත්ති කරුවන් සාක්කි කරුවන් හා වෙනත් නීතිවේදීන් ඇතුලු පුද්ගලයින්ගේ චර්යාව පිලිබද සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කරන ලදි. ඔහු මෙම අධ්‍යනයන් පදනම් කර ගනිමින් අනුකරණ සිද්ධාන්තය ඉදිරිපත් කරන ලදි. දිනපතා තමන්ට ඇසුරු කරන්නට හෝ ගැටීමට සිදුවන පුද්ගලයන්ගේ චර්යාව මගින් පුද්ගල චර්යාවට දැඩි බලපෑමක් එල්ල වන බවත් ඔහු නිරීක්ෂණ මගින් පෙන්වා දෙන ලදි.
ජෝර්ජ් සිමෙල් විසින් කන්ඩායම් චර්යාව පුද්ගල චර්යාව කෙරෙහි බලපාන අන්දම පෙන්වා දෙන ලදි. ඔහු පළමු වරට The web of Group Affiliations නැමැති කෘතියෙන් ජාල පිලිබද සිද්ධාන්තය ඉදිරිපත් කර පෙන්වා දෙන ලදි. සිමෙල්ට මානව චර්යාව තේරුම් ගැනීම සදහා බෙහෙවින් වැදගත් වූ ප්‍රශ්නය වූයේ සන්නිවේදන සබදතා මගින් කුමන පුද්ගලයා කුමන පුද්ගලයින්ට සම්බන්ධද යන්නයි.
මෙසේ සිමෙල් හා ටාඩේ මුලින්ම යුරෝපයේ සන්නිවේදනය පිලිබද මූලික අදහස ඇති කල නමුත් ඔවුන් දෙදෙනාගේම අදහස් ආනුභවික පර්යේෂණයට බදුන් කිරීමට හැකිවූයේ ඇමරිකාවේය. මානව සන්නිවේදනය නැමැති සමාජ ශාස්ත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ජෝන් ඩේවි, චාල්ස් හෝර්ට්න් කුලී, රොබට් ඊ පාක් හා ජෝර්ජ් හර්බට් මීඩ් යන විද්වතුන් සිව් දෙනාගෙන් විශාල දායකත්වයක් ලැබිණි. මානව චර්යාව පිලිබදව හැදෑරීමට සන්නිවේදනය ගුරු කොට ගත හැකි බව පෙන්වා දුන්නේ මොවුන් විසිනි. කුලී ස්වීයත්වය හා සමාජානුයෝජනය පිලිබද සමාජ විද්‍යා යෙක් වන අතර ඩේව් දාර්ශනිකයෙක් මෙන්ම මනෝ විද්‍ය යෙක් ද වේ. මොවුන් සන්නිවේදන අධ්‍යයන නැමැති නව විෂය සමාරම්බයට මෙන්ම එහි වර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කල විද්වතුන් අයත්ව සිටි චිකාගෝ ගුරු කුලයට අයත් වූවෝ වෙති. පනිවිඩයක් සංජානනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම පුද්ගල නි ශිත භාවයෙන් යුත් මානව ක්‍රියාවක් බව අවධාරණය කල මෙම සිවු දෙනා මානව සන්නිවෙදනය පිලිබද විද්‍යාත්මක මුහුනුවරක් ප්‍රකට කලහ. මොවුන් පෙන්වා දුන්නේ ස්න්නිවේදන ක්‍රියාවලියේදී පුද්ගලයා අතිශයින්ම වදගත් වන බවත් පණිවිඩයක් තේරුම් ගැනීම මෙන්ම එම පණිවිඩය අර්ථ නිරූපනය කිරීම පිලිබද කටයුත්ත සම්පූර්ණයෙන්ම පුද්ගලයගේ මනෝ භාවයන් මත ‍රැදී තිබෙන බවය.
චාල්ස් කුලී ප්‍රධාන ලෙසම පර්යේෂණ කටයුතු සිදු කරන ලද්දේ පුද්ගල සමාජානුයෝජනය පිලිබදවයි. ඩේව්ගේ මග පෙන්වීම අනුව ස්පෙන්සර්ගේ අදහස් හා මති මතාන්තර පිලිබදව උනන්දුවක් දක්වන්නට පටන් ගත් කුලී සමාජ විද්‍යාව කෙරෙහි ඇදී ගියේය. මුල් කාලයෙදී කුලී ස්පෙන්සර්ගෙන් බලපෑමක් ලැබූ අතර නමුත් කුලී පසු කාලයේ කියා සිටියේ ආරය හා පෞද්ගලිකත්වය පුද්ගලයකුගේ ස්වීයත්වය තීරණය කිරීම සදහා බල නොපාන බවය. දෙමාපියන්ගෙන් හා තම ආශ්‍රය කරන පුද්ගලයන් සමග කරන පුද්ගලාන්තර සන්නිවේදනය කෙනෙකුගේ සමාජානුයෝජනය කෙරෙහි සේම ස්වීයත්වය කෙරෙහිද බලපාන බව ඔහු පෙන්වා දෙන ලදි. කුලී ජන සන්නිවේදනය පිලිබද යම් ප්‍රගතිශීලී උනන්දුවක් දැක්වුවද වඩා වැඩි උනන්දුවක් දක්වන ලද්දේ පුද්ගලාන්තර සන්නිවේදනය පිළිබදවය. සමාජ ප්‍රගතිය පිලිබද දැඩි උනන්දුවක් දැක්වූ ඔහු එකල පුවත් පත් වාණිජ අරමුණු සදහා යොමුව සිටි බැවින් පුවත්පත් පිලිබද අද්‍යයනයන් සිදු කිරීමට අවධානයක් යොමු නොකරන ලදි. හැරල්ඩ් ලැස්වෙල් සෘජු ලෙස සන්නිවේදනය පිලිබද විද්වතෙක් නොවුනද සන්නිවෙදන අධ්‍යයනයෙහි නව පැතිකඩ සොයා ගැනීම විෂයෙහි ඔහු සුවිශේෂී දායකත්වයක් සපයනු ලබීය.ප්‍රචාරනය, ජනමතය සකස් වීම ජනමාධ්‍ය පිලිබද අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය සන්නිවේදන අධ්‍යයන විෂයෙහි අතිශයින් වැදගත් විය.
ඉහත ආකාරයට සන්නිවේදන අධ්‍යයන ආරම්භවීම හා එහි ක්‍රමික වර්ධනය විමර්ශනය කල හැකිය. එහිදී පැහැදිලි වන්නේ ජර්මන් නාසි වාදයත් සමග ඇමරිකාවට සංක්‍රමණය වන ලොව විශිෂ්ටතම සමාජ ශාස්ත්‍ර පිලිබද දාර්ශනිකයින් විසින් සමාජ සංසිද්ධීන් අරභයා සිදු කරන ලද සමීක්ෂණ, පරීක්ෂණ හා විශ්ලේෂණ මත පදනම්ව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනික මතවාද ඔස්සේ සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය සිදු වූ බවය. එහිදී චිකාගෝ ගුරුකුලය සේම චිකාගෝ ගුරුකුලයෙහි ක්‍රමවේදාත්මක ප්‍රවේශය තුලින් සමකාලීන සමකාලීන සන්නිවේදන අධ්‍යයන සිදු කල විද්වතුන්ගෙන් සැදුම්ලත් ව්‍යාඛ්‍යායික ගුරුකුලය මගින් එය ක්‍රමිකව අභිවර්ධනය විය. මෙහිදී සදහන් කල යුතු සුවිශේෂී කරුණ වන්නේ සෑම විෂයක්ම ආරම්භ වී ඇත්තේ එම විෂය පිළිබදවම මුලික ධාරණාව රදවා ගනිමින් විෂය සදහාම කැපවූ විද්වතුන් විසින් කරන ලද විවිද පරීක්ෂණ, නිරීක්ෂණ, සම්පරීක්ෂණ පදනම් කොට එලබෙන සිද්ධාන්තයන් මගිනි. නමුත් සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය පිලිබද ඇත්තේ එවැනි පසුබිමක් නොවේ. එය ආරම්භ වී ඇත්තේ විවිද විෂය ක්ෂේත්‍රයන් පිලිබද ප්‍රවීණත්වයට පත් විද්වතුන්ගේ හා දාර්ශනිකයින්ගේ දායකත්වයෙනි. එසේ සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය සිදු වූ අතර ඒ සදහා ඇත්තේද කෙටි ඉතිහාසයකි නමුත් අද වන විට මෙම විෂය ලොව පුරා විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයනය කරන කාලීන සමාජීය තත්වයට සමගාමීව ගමන් කරන්නාවූ ඉතා ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍රයක් බවටද පත්ව ඇති බව සදහන් කල හැකිය.

Sunday, July 21, 2019

ජන සන්නිවේදනය


ලොව පවතින සමාජ ශාස්ත්‍ර අතරට පසුගිය සියවස තුල එක්වූ ප්‍රමුඛතම විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම කාලීන අගයෙන් යුත් විෂයක් ලෙස මෙහි ආරම්භය ඇමරිකාව තුල සිදු වන අතර ඒ සදහා විවිධ විෂය ක්ෂේත්‍රයන් පිලිබදව ප්‍රවීනත්වයට පත් විද්වතුන් මේ සදහා ස්වකීය දායකත්වය සපයන ලදි. ඒ අතර හැරල්ඩ් ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කාල් හවුලන්ඩ්,විල්බර් ශ්‍රාම් ආදී පුරෝගාමී විද්වතුන්ද ගේබ්‍රියෙල් ටාඩේ, ජෝර්ජ් සිමෙල් ආදී යුරෝපීය විද්වතුන්ද ජෝන් ඩේවි, චාල්ස් හෝර්ට්න් කුලී, රොබර්ට් ඊ පාක්, මීඩ් ආදී ඇමරිකානු විද්වතුන්ද ක්ලෝඩ් ඊ ෂැනන් සහ නෝබර්ට් වීන්ර් ආදී ඉංජිනේරු සන්නිවේදකයෝද මේ සදහා ස්වකීය දායකත්වය සපයන ලදි. මොවුන් විසින් මෙම නව විෂය අරභයා කරන ලද පර්යේෂණ ආදිය මගින් එය සමාජ ශාස්ත්‍රයක් ලෙස වර්ධනයට අවශ්‍ය පදනම සකස් කරනු ලැබීය. මොවුන් විසින් විවිධ අයුරින් දක්වන ලද දායකත්වය නිසා මෙම නව විෂය අද වන විට න්‍යායාත්මකව වර්ධනය වී ලොව පුරා විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදු කරන විෂයක් ලෙස සංවර්ධනය වී පවතී



සංස්කරණය

Thursday, July 18, 2019

හිමාලයේ ඇතැයි කියන මොකක්ද මේ ඡද්දන්තය


හිමාලය පර්වතයෙහි පිහිටි දිගින්ද පළලින්ද ගැඹුරින්ද පනස් යොදුන් ඇති අනවතප්තය, කර්ණමුණ්ඩිය, රථකාර්ය, ඡද්දන්තය, කුණාලය, මන්දාකිණිය, සිංහ ප්‍රතාපය යන විල් සතින් සිවුවැන්න නම් 'ඡද්දන්ත' යැයි කියැවේ.

මේ විල් මැද ‍ෙදාළොස් යොදුන් පමණ ජලය ඉඳුනිල් මිණි රැසක් බඳුය. එහි සෙවෙල් ආදී යමක් නැත. ඒ ජලය සිසාරා යොදුන් යොදුන් පමණ පුළුල ඇති හෙල්මැලි වනය, නිල්මහනෙල් වනය, රත්මහනෙල් වනය, සුදු මහනෙල් වනය, රත් පියුම් වනය, සුදු පියුම් වනය, ඇඹුල වනය යැයි සත් වනයක් පිළිවෙළින් පිහිටියේය. මේ සත් වනය සිසාරා තවත් යොදුන් යොදුන් පමණ පුළුල් දස වනයකි. එයට ඉක්බිතිව එකිනෙක සිසාරා පිහිටි තවත් වන රැසක් වෙයි. ඉන් අවසන්ව පිහිටි හුණ වනය සිසාරා පර්වත සතක් ඇත.

ඒ පර්වතයන්ගේ පිට දිශාවෙහි පටන් පළමු පර්වතය චුල්ලකාලී නම්ය. යොදුනක් උස ඇත. දෙවැනි පර්වතය මහාකාල නම්ය. දෙයොදුනක් උසය. තෙවැනි පර්වතය උදක් පාර්ශ්ව නම්ය. තුන්යොදුන් උසය. සිවු වැනි පර්වතය චන්ද්‍රපාර්ශ්ව නම්ය. සතර යොදුන් උසය. පස්වැනි පර්වතය සූර්ය පාර්ශ්ව නම්ය. පස් යොදුන් උස ඇත. සවැනි පර්වතය මණි පාර්ශ්ව නම්ය. සයොදුන් උසය.

සත් වැනි වූ සත්යොදුන් උස ඇති ස්වර්ණ පාර්ශ්ව නම් පර්වතය ඡද්දන්ත විල සිසාරා පාත්‍ර මුවවිටක් මෙන් සිටියේය. එහි ඇතුළත ස්වර්ණවර්ණ යැයි කියැවේ. එයින් නික්මෙන රන්වන් පැහැයෙන් ඡද්දන්ත විල ළහිරු මඬලක් මෙන් බබළන්නේ යැයිද ප්‍රකාශ වේ.

ඡද්දන්ත විලෙහි ඊසාන කොනෙහි අට දහසක් අරළුයෙන් හොබවන ඉඳුනිල් පර්වතයක් බඳු මහ නුග ගසක් ඇත. ඡද්දන්ත නම් ඇත් රජ තෙමේ ග්‍රීෂ්ම සමයෙහි අටදහසක් ඇතුන් පිරිවරාගෙන එහි මුල අරළු අතුයෙහි සිටින්නේය. විලට බටහිර වූ රන් පර්වතයෙහි ‍ෙදාළොස් යොදුන් පමණ වූ කාංචන ගුහා නම් ලෙනකි. ඡද්දන්ත ඇත් රජු වැසි කල එහි ගත කරන බවත් කියැවේ. කෙතරම් සොඳුරු වර්ණනයක්ද? 

Tuesday, July 16, 2019

ඇසළ පුර පසළොස්වක පෝය


බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත. අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර, අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.

මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

Monday, July 15, 2019

දිනෙන් දින වර්ධනය වන අපූරු දූපත


ජීවීන් හා ශාක පමණක් වර්ධනය වන බවට මතයක් පැවතිය ද මේ වන විට ජපානයේ පිහිටි දුපතක් ද කාලානුරූපීව වර්ධනය වන බවට හෙළිදරව් වී ඇත. මේ එම විස්මිත දුපතේ අපූරු තොරතුරු පෙළගැස්මයි.

නමින් නිෂි- නෝ-ෂිමා හෙවත් වෙස්ටර්න් දුපත නිර්මාණය වී ඇත්තේ භූ ගත යමහල් ක‍්‍රියාවලිය හේතුවෙනි. මෙම අපූරු දුපත ටොකියෝවට නුදුරින් නිර්මාණය වී ඇත. ජපන් වැසියන් මෙම දුපතට රොසයිරෝ දිවයින ලෙස ද ව්‍යවහාර කරයි.

1974 දී ඉතා කුඩා යමහල් කල්දේරාවක් ලෙස නිර්මානය වූ මෙය විශාල වීමට ආරම්භ වූයේ ඉතා කුඩා කල වකවානුවක් පමණී. ඒ මඳිනි මඳ යමහල් කල්දේරාව භූ ගත ලාවා මඟින් සක‍්‍රීවය වීම හේතුවෙනි. 2013  නොවැම්බරයේ දී හටගත් විදාරණය වීම හේතුවෙන් මෙම දුපත දැන් පවතින තත්වයට පත් වීමත් සමඟ ලෝකයේ ම අවධානය මෙම දුපත වෙත යොමු විය. 

2016 වන විට මෙම දුපත කොතරම් වර්ධනය වී තිබුණි ද යතොත් අක්කර 667.18ක් විශාල වී ඇති අතර මෙහි දැන් විවිධ ශාක හා සතුන් ද ජීවත් වීම ආරම්භ වී ඇත. මෙම දුපත කුඩා යමහලක් මෙන් ආරම්භ වී ඇත්තේ වසර 10 000කට එපිටින බැව් භු පර්යේෂකයන් ගේ මතයයි. 

Sunday, July 14, 2019

කොරල් 90%ක් මිය ගිහින්


ශ්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ඇති කොරල් සියයට අනූවක පමණ ප්‍රමාණයක් මේ වන විට මියගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සිළුමිණට පැවසීය.

පරිසර වෙනස්වීම්, අසම්මත සහ විනාශකාරී මසුන් මැරීමේ ක්‍රම සහ පොලිතීන් මුහුදට එකතු වීම නිසා මෙම තත්ව උද්ගත වී ඇති බව තමන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයිද ආචාර්යවරයා පෙන්වා දෙයි.

මුහුදු කලාප ආශ්‍රිතව පරිසරය රැකීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම මීට වඩා වේගවත් කර සැම දෙ‍නකුගේම සහය නොලැබුණහොත් ඉදිරි වසර දහය ඇතුළතදී කොරල්පර සම්පූර්ණයෙන් ම විනාශවී යනු ඇතැයිද ට්ර්නි මහතා පෙන්වා දෙයි.

ලෝකයේ බොහෝ මුහුදු කලාපවල දැක ගත නොහැකි අලංකාර කොරල් සහ ජීවීන් රැසක් ලංකාව වටා මුහුදු කලාපයේ තවමත් දැක ගත හැකි බවත් මෙය රැක ගැනීමට රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන සාමාන්‍ය ජනතාව එක්ව අත්වැල් බැඳගෙන තම ආයතනයට සහය ලබා දෙන ලෙස ආචාර්යවරයා ඉල්ලීමක් ද කරයි. 

Saturday, July 6, 2019

ජාතික රෝහලත් අන්දවා ප්‍රතිකාර ගත්‍තු සහරාන්ගේ සහෝදරයා


මූලික ප්‍රතිකාර කළේ තාත්තා
මුලින්ම එන්නෙ කොටාපාරේ පුද්ගලික රෝහලකට
එතැනින් කොළඹ ජාතික රෝහලට

සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ බෝම්බ විශේෂයින් දෙදෙනක් සිටියහ. ඒ එක් අයෙක් වන්නේ කටානේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අච්චි මොහොමදු හස්තූන්ය. අනෙකා වන්නේ සහරාන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් හසීම්ය. කල්මුණේ සයින්දු මරුදු නිවසේ සිදුවන පිපිරුමෙන් මිය ගිය අය අතර රිල්වාන්ද සිටියේය.

අයි.එස් ත්‍රස්තයින්ගේ රසායනික සංයෝජනයකට අනුව බොම්බ අටවන්නට රිල්වාන් පුහුණු වන්නේ කාතන්කුඩියේ ඔල්ලිකුලමේ පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථාන භුමියේදීය. ගොවිපොලක් ලෙස පවත්වාගෙන යන ඒ භුමිය අක්කර 15 ක වපසරියකින් සමන්විතය. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 05 කට පෙර කාතන්කුඩියේදී පුපුරා යන යතුරුපැදි බෝම්බය පවා සකස්කර ඇතැයි සැක කෙරෙන්නේ එම ගොවිපොල භුමියේදීය. එම යතුරුපැදි බෝම්බයේ නිෂ්පාදකයා රිල්වාන්ය.

රිල්වාන්ගේ එක් ඇසක් අහිමිය. අතක ඇත්තේ එක් ඇඟිල්ලක් පමණි. අතේ ඇගිලිත් ඇසත් ඔහුට අහිමි වන්නේ ගොවිපොල භුමියේදී නිෂ්පාදනය කළ බොම්බයක් පරීක්ෂා කිරීමට ගොස් එය වැරදීමකින් පුපුරා යාමෙනි. එම පිපිරුම සිදුවන්නේ 2018 වසරේ ඔක්තෝම්බර් 26 වෙනිදාය. බොම්බය අටවන්නේ කාතන්කුඩියේ නූර් දේවස්ථානය ආසන්නයේ බෝක්කුවක් යටය. එය කාල බෝම්බයකි. බෝම්බය පුපුරා යන්නේ බෝක්කුව යට එය අටවා රිල්වාන් එහි ටයිමරය ක්‍රියාත්මක කරන්නට යාමේදී සිදුවන අත්වැරැද්දකිනි. රිල්වාන්ගේ අතක ඇඟිලි මෙන්ම ඇසක්ද අහිමි වෙමින් මුහුෙණ් එක් පැත්තකට දරුණු ලෙස එම පිපිරුමෙන් හානි වී තිබුණේය. එදා එතැන ජාතික තවුහිත් ජමාත් හි සන්නද්ධ අංශයේ ප්‍රධානියා වූ මොහොමඩ් මිල්හාන්, මඩකලපුව ලියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් ඇතුළු ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අය සිතන්නේ පිපිරුමෙන් රිල්වාන් මිය ගිය බවය. ඒ අය රිල්වානේගේ පියාගේ නිවසට රිල්වාගේ සිරුර ඔසවාගෙන යන්නේ හොර රහසේ අවසන් කටයුතු කරන්නට සිතාගෙනය. රිල්වාන් මරණින් නැගිටින්නේ පියාගේ නිවසේදීය. ඒ පිපුරුමෙන් හානි වී තිබුණු මුහුණ ජලය පෙඟවූ රෙදි කඩකින් පිස දමන විටදීය.

රිල්වන්ට සිහි එළඹීමත් සමඟ ඔහුට මූලික ප්‍රතිකාර ලැබෙන්නේ සිය පියාගෙනි. අයිස් කැබලි රෙදි කඩක ඔතා මුහුණටත් අතටත් තැබූ ඔහු වෑන් රථයක් ගෙන්වාගෙන රිල්වාන්ව රැගෙන යන්නේ කොළඹටය. එය පැය හය හතක ගමනකි. රිල්වාන් සියලු වේදනාවන් ඉවසාගෙන සිටියේය. ඒ එන අතර තුර සහරාන් සිය සහෝදරයාට ප්‍රතිකාර ලබාදීමට තැනක් සූදානම්කර තිබුණේය. ඒ කොළඹ කොටාපාරේ පිහිටි පුද්ගලික රෝහලකි. රිල්වාන්ව එහි ගෙන එන විට සහරාන්ද රෝහලට පැමිණි සිටියේය. සැබෑ කථාව රෝහලේ හිමිකාර වෛද්‍යාවරයා දැන සිටියත් රිල්වාන්ව එහි ඇතුළත් කරන්නේ ගෑස් ටැංකියක් පිපිරීමෙන් සිදුවූ අනතුරක් බව සඳහන් කරමිනි.

රිල්වාන් එම පුද්ගලික රෝහලේ දින 20 ක් පමණ ප්‍රතිකාර ගත්තේය. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන්නේ කොළඹ ජාතික රෝහලටය. කොළඹ ඇස් රෝහලේදී පවා ඔහුට ප්‍රතිකාර ලැබී ඇත්තේ ඇසකට දැඩි හානි සිදුවී තිබුණු බැවිණි. පුද්ගලික රෝහලේ වාර්තාවල ගෑස් ටැංකි පිපිරුමක් බව සඳහන්ව තිබීම නිසා ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට පවා ඒ ගැන සැකයක් නොවීය.

කාතන්කුඩියේ සිට රිල්වාන්ව කොළඹට රැගෙන යන මොහෙයුම ක්‍රියාත්මකවන අතර තුර සන්නද්ධ අංශයේ නායක මිල්හාන් තවත් මෙහෙයුමක් දියත් කළේය. ඒ ඔල්ලිකුලම ගොවිපොල භුමියේ තිබුණු රිල්වාන් විසින් නිෂ්පාදනය කළ තවත් බෝම්බ කිහිපයක් සහ පුපුරණ ද්‍රව්‍ය සඟවන්නටය. සිය ගෝලබාලයින් යොදා ඔහු එම බොම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සඟවන්නේ කාතන්කුඩි වෙරළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය විසින් කරනු ලබන මෙහෙයුම් වලට සහරාන්ගේ ගෝල බාලයන් කොටුවන්නේ බුරුතු පිටිනි. නූර් පල්ලිය අසල රිල්වාන් ඇටවූ බොම්බය පුපුරා යන විට ඒ අසල සිටි සහරාන්ගේ ගෝලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටියහ. ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් බොහෝ දේවල් හෙළි කළේය. එදා වෙරළේ වල දැමූ පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ රැසක්ම රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෙන් ගොඩ ගන්නේ ඒ අනුවය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...