Wednesday, September 4, 2019

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරිත් විරිත් ඇදහිලි ආදිය නිර්මාණය වී ඇති බව මා දැනගත්තේ මාගේ පියාගෙනි. වී ගොවිතැන, හේන් ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මාගේ පියා දක්ෂ ගොවියෙකි.ඒ හා බැඳුණු සිරිත් විරිත් පිළිබඳ මනා දැනුමක් තාත්තා සතුවිය.මට දැන් සිතෙනුයේ ඒ ගැන හොඳින්ම දන්නා එකම පුද්ගලයා මගේ තාත්තා කියායි.ඒ තරමටම ඔහු තුළ ඒ පිළිබඳ පිරිපුන් අවබෝධයක් තිබුණි.අපේ මුළු පවුලට ම බත සපයන තාත්තාගෙ එකම රැකියාව වූ ගොවිතැන හා සම්බන්ධ සිරිත් විරිත් ගැන මම තාත්තා සමඟ කතාවට වැටුණේ මෙසේය.

“ තාත්තට අද මහන්සි පාටයි නේද "

" ලොකු මහන්සියක් නෑ පුතේ මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනේ "

" තාත්තට තේ එකක් හදන් එන්නම් "

" හා, ඒක හොඳයි."

මද වේලාවකට පසු තාත්තා අතට තේ කෝප්පය රැගෙන විත් දුන් මා  ඔහු අසළින්ම හිඳ ගත්තේ ඔහු හා බර කතාවකට වැටීමට ය. තාත්තා ද එය තේරුම් ගත් බව ඔහුගේ බැල්මෙන් මට වැටහුණි.

" මොකද පුතේ, ලොකු කතාවක් කරන්න වගේ ලෑස්තිය"

" ඔව් තාත්තා, මට තාත්තගෙන් දෙයක් දැනගන්න ඕන"

"මොකද්ද? කියහන්කො බලන්න"

" ඔය හැම රැකියාවකට ම අදාළ වෙච්ච පැරණි සිරිත් විරිත් තියනවා නේද? "

" ඔව් ඉතිං"

" මට ආසයි වී වගාවට බැඳිච්ච සිරිත් විරිත් ගැන තාත්තාගෙන් දැනගන්න"

"හා...ඒකද මේ..මං ඒත් බැලුවා මොකාටද මේ එන්න හදන්නේ කියල"

මඳ සිනහවක් නගමින් තාත්තා කතාව ඇරඹුවේ මෙසේ ය.

" කෘෂිකර්මාන්තයට ලොකු ඉතිහාසයක් තියෙනවා පුතේ.ඒ අතර ප්‍රධානම ස්ථානය හම්බෙන්නේ වී ගොවිතැනට.වගාව පටන් ගත්ත දවසේ ඉඳලා අස්වනු නෙලන දවස වෙනකල් ඒකට අදාල හැමදේම වගකීමෙන් කරන්න ඕන.වී ගොවිතැනත් එක්ක බැඳිච්ච පුදපූජා,සිරිත්විරිත් ගොඩක් තියෙනවා ගොවිතැන එක්ක බැඳුණු ලොකු නිර්මාණයක් තමයි වැව.වැවකින් මුලින්ම ගොවිතැනට ඕන කරන ජලය ලබා දීමේ කටයුත්ත අපි දියවර මංගල්‍ය කියලා තමයි හඳුන්වන්නේ"

"දියවර මංගල්‍ය කියන්නේ මොකද්ද තාත්තෙ"

" වෑකන්ද මත්තෙ කිරි උතුරවල වැව් ජලයට වැඳල සුබ නැකතින් ගොවි බිම්වලට ජලය ලබා දෙන එක.. ගොඩක් වෙලාවට පවුලේ අය එකතුවෙලා තමයි ගොවිතැන් කටයුතු සිද්ධ කරන්නේ. හැබැයි ඔය ආරාම වගේ ඒවට අයිති කුඹුරු වල "වෙහෙර් දසුන්" කියල හඳුන්වපු විහාර සන්තක දාසයො තමයි යොදාගන්නේ. සාමාන්‍ය පවුල් වල ගොඩක් දුරට කුලී කාරයෝ දාලා වැඩ කරවනවා. මෑතක් වෙනකම්ම ඔය අත්තම් ක්‍රමය කියල. එකකුත් තිබුණා.සිංහලයගෙ සහයෝගිතාවය තමයි ඒකෙන් පෙන්නන්නෙ"

" එතකොට තාත්තේ ඔය කයිය කියලා කියන්නෙත් ඒ වගේ එකක් නේද?"

" ඔව් පුතේ.. ඒක වෙන්නේ ඔය ගොයම් කපන දවසට නේ.කුඹුරෙ අයිතිකාරයා හවස් යාමේ බුලත් අතකුත් අරන් ගෙවල් වලට ගිහින් "මගෙ කුඹුරෙ හෙට ගොයම් කපනවා"කියලා පිරිසට ආරාධනා කරනවා. ඒ බුලත් කොළ ගන්න අය තමයි පහුවදා ගොයම් කපන වැඩේට එන්නෙ. එතකොට අරගෙන ගියපු බුලත් අතේ අඩුවෙච්ච බුලත් කොළ ගානට වැඩට එන පිරිසෙහි ගාන බලා ගන්න පුලුවන්. ඒ ගානට තමයි ගෙවිලිය ඇඹුල සූදානම් කරන්නේ. කයිය දවසට දෙන කෑම අපි කයිබත, මුත්තෙට්ටුව, වෑදම කියල හඳුන්වනව"

"එතකොට තාත්තෙ කමත් භාෂාව කියලා එකකුත් තියෙනවා නේද ගොවිතැනේදී.මට මතකයි ඉස්කෝලේ පාඩමකුත් තිබුණා."

" කමත කියන්නෙ පුතේ ගොවියෝ ලොකු භක්තියකින් සලකපු ස්ථානයක්.අපි මේකට කළවිට කියලත් කියනවා.පුතා ඉගෙනගත්ත නම් කියන්න බලන්න කමතෙදි අපි භාවිත කරන වචන ටිකක්"

"උදැල්ලට උදලු ගොවියා කියනවා,මී හරක්ට අම්බරුවන් කියනවා,කපපු ගොයම් වලට උප්පිඩි කියනව, ගොයම් ටිකක් එකතු වුණාම ගොයම් මිටියක් කියනවා මාප් පිඩ කියලත් කියනවා, ගොයම් මිට ගොඩ ගැහුවම ගොයම් කොළය කියලා තමයි කියන්නේ"

" හරි, බොහොම හොඳයි පුතේ" 

" එතකොට තාත්තේ අපි මේ අස්වනු නෙලනකන් ගොයම් ආරක්ෂා කරගන්නේ කොහොමද? එක එක සතුන්ගෙන් හානි වෙනවා නේද නැත්නම් ගොයම් වලට"

" ඔව් පුතේ එහෙම වුනොත් අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න බැරි වෙනවා. කරපු හැම වැඩකම ප්‍රතිඵල හීන වෙනවා. ඒ හින්දා අපි ඒ සතුන්ට හානියක් නොවෙන විදිහට ක්‍රම හදාගෙන තියෙනවා ගොයම ආරක්ෂා කරගන්න.
පළවෙනි එක තමයි සොකඩ බැඳීම.ගල් පුරවපු ටින් ටිකක් තමයි මේකට අපි යොදා ගන්නේ. සාමාන්‍යයෙන් දකුණේ අපි මේකට කියන්නේ ටකරං බැඳීම කියලා. දිගාමඩුල්ලෙදි අතු වැල කියලා හදුන්වනවා.
දෙවැනි ක්‍රමේ තමයි සේරංගාව සවිකිරීම. සේරංගාව කියන්නේ හුළං පෙති වලට. තවත් සමහරු උණ පුරුක් වලින් වක්කඩ ලග දිය හොල්මන අටවනවා. ආයේ ඔය කුරුල්ලන්ගෙන් වන හානි අඩු කරගන්න උන්ට වෙනම ලියද්දක් වෙන් කරනවා. අපි කුරුලු පාළුව කියලා කියන්නේ ඒකට. ගොවියො රාත්‍රියට පැලට වෙලා පැල් කවි ගායනා කරන්නේ ඔය අලින්ගෙන් වන හානි වලක්වා ගන්න.
     ගොඩක් අය ගොවිතැන් කටයුතුවලදි නැකැත් වෙන් කරනව සුභ දවස් හා අසුභ දවස් කියලා. බ්‍රහස්පතිදා, සෙනසුරාදා, සඳුදා වගේ දවස් සුභ දවස් විදියටත් අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා වගේ දවස් අසුභ දවස් විදියටත් තමයි සලකන්නේ. මේ නැකත ගැන ලියවෙච්ච ජන කවියකුත් මං අහල තියෙනවා.

"අනේ තාත්තේ ඒ කවිය කියන්නකො"

මා තාත්තට බොහෝ පෙරැත්ත කළේ ඔහු කවි කීමට උපන් හපනෙක් බව දන්නා නිසාවෙනි. ඔහුගේ හඬින් එය අහන්නට තදබල ආශාවක්  මා හට ඇතිවිය.මද වේලාවක් කල්පනාවේ නිමග්න වූ තාත්තා කවිය පටන්ගත්තේ මෙලෙසයි.

"අහගෙන ඉදිංකො එහෙනම්"

නැකැත් බලා වපුරන දින    නියමය 
සැපත් හොඳා සුභ ඵල ගෙන   දීම ය 
පිටත් කලා අටුවට වී          ගැනුමය 
ගෙනත් නෙළා මැන වී දිය   දැමුමය 

"හරිම ලස්සනයි තාත්තේ"

තාත්තා ඊට මද සිනහවක් පෑවා පමණි. නැවතත් ඔහුගේ කතාව ආරම්භ කළේය.

"ග්‍රාමීය ප්‍රදේශවල තිබුණු තව සිරිතක් තමයි පුතේ පන්සල් වලට අයිති කුඹුරුවල වගේම වෙදමහත්තයා, ගුරුවරු වගේ අයගේ කුඹුරු වල නොමිලේම වැඩ කරලා දෙන එක. කෘතගුණ සැලකීම තමයි ඒකෙන් පෙන්නන්නේ. අස්වැන්න නෙළුවට පස්සෙ තියෙන වැදගත්ම කටයුත්ත තමයි අලුත් සහල් මංගල්‍යය.දළදා මාලිගාව,ශ්‍රී මහා බෝධිය,කතරගම කිරිවෙහෙර වගේ බෞද්ධ පූජනීය ස්ථාන වල තෙරුවන්ට අගසස් කොටස පුද දීලා පින් සිතුවලි ඇති කරගන්නවා. නුවර කලාවියෙ නම් පුල්ලෙයාර් ඒ කියන්නේ ගණ දෙවියන්ට කිරි ඉතිරවීම තමයි සිරිත.. අලුත් සහල් වලින් පන්සලට දාන දෙන එක, අම්මා තාත්තට අලුත් බතින් සංග්‍රහ කරන එක චාරිත්‍රයක් විදියට කරනවා වගේම එය ඔවුන් අතර සහජීවනය ගොඩනැගෙන්නත් එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා."

" තාත්තා කතාව එලෙස අවසන් කළේ ඊළඟ දිනයේ හේන් ගොවිතැන හා බැඳුණු සිරිත් විරිත් ගැන මා හට කියා දීමේ පොරොන්දුව පිටයි. ඉන්පසු මා අඳුරු අහස දෙසට නෙත් යොමු කරමින් තාත්තා තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳව ඇති මේ දැනුම කොතෙක් දැයි මඳ වෙලාවක් කල්පනා කොට එතැනින් නැගී සිටියේ තාත්තා පිළිබඳ උපන් මහත් ආඩම්බරයක් ද සමගිනි......
   
                                           ..නිමි..
           

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...